අල්ලස් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට සිරදඬුවම්

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වරදකරු කෙරුණු පොලිස් සැරයන්වරයෙකුට වසර 16ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර හතරකින් ගෙවිය යුතු බව නියම කළේය.

ඊට අමතරව විත්තිකරුට රුපියල් විසි දහසක දඩයක් නියම කරන බවද තීන්දුව දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා සිය නියෝගයේ සඳහන් කළේය.

නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙකු එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා කහවත්ත පොලිසියේ සේවය කළ විත්තිකාර හිටපු පොලිස් සැරයන්වරයා රුපියල් 15000 ක අල්ලසක් ඉල්ලා තිබේ.

එම මුදල ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම විත්තිකරු අත්අඩංගුව ගනු ලැබූ අතර පසුව අල්ලස් කොමිසම විසින් මොහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව ඔහු වැරදිකරු කරන බවද නඩු තීන්දුවේ සඳහන් වුණි.

Exit mobile version