අගමැති පාස්කු විශේෂ කාරක සභාව හමුවට කැඳවයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභාව හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 07 හෝ 08 වැනිදා කැඳවා ඇතැයි වාර්තා වේ.

ලබන මස 06 වැනිදා පැවැත්වීමට නියමිත කාරක සභාව හමුවට නීතිය හා සාමය හිටපු ඇමතිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර හා සාගල රත්නායක යන මහත්වරුන් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කැඳවා ඇතැයිද වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සඳහාද කාරක සභාවේ අවධානය යොමු වී තිබෙන අතර, ඒ සම්බන්ධව ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයිද සඳහන් වෙයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් ඔහුගේ නිල නිවසට ගොස්  සාක්ෂි ලබාගැනීමට කාරක සභාවේ සාමාජිකයන් තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව ලබන මස අවසන් වීමට පෙර විශේෂ කාරක සභාවේ වාර්තාව සකස් කර ගැනීමට හැකිවනු ඇතැයිද කාරක සභාවේ සාමාජිකයෙක් පැවසීය.

Exit mobile version