පොහොය, ඉරිදා දිනවල ටියුෂන් පන්ති තහනම් කරන්න සහාය දෙනවා – කාදිනල් හිමි

දහම් අධ්‍යාපනයට ඉඩ ලබා දෙමින් පොහොය දිනවල සහ ඉරිදා දිනවල උදේ වරුවේ ටියුෂන් පන්ති තහනම් කිරීමේ යෝජනාවට තමන් සහාය පළ කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොටුගොඩ ශුද්ධවූ කයිතාණූ මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති දේවමෙහෙයකට එක්වෙමින්.

කොටුගොඩ ශුද්ධවූ කයිතාණූ මුනිඳුන්ගේ දේවස්ථානයේ 125 වන ජුබිලිය වෙනුවෙන් පැවති දේවමෙහෙය අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

“පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා තිබුණා, විශේෂ පනතක් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් හැටියට ඉරිදා සහ පෝය දිනවල දහම්පාසල් පැවැත්වීම සඳහා උදේ වරුවේ ටියුෂන් පංති තහනම් කරන්න කියලා.

අපේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වැදගත් කියලා හිතෙන නිසා මමත් ඒ නඩුවට ඉදිරිපත් වුණා.

ඒ යෝජනාවට විරුද්ධව සමහර ටියුෂන් ගුරුවරු නඩු දැම්මා, ඒ නිසා එම නඩුවට මමත් ඉදිරිපත් වුණා. මේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරන්න අවශ්‍යයි.

අවාසනාවකට ආගමත් දැන් දේශපාලනය සමඟ කලවම් කරගෙන පාවිච්චි කරන්න හදනවනේ. ආගමයි දේශපාලනයයි එක සමාන වෙන්නේ නැහැ කවදාවත්.

බලය කියන්නේ සේවය, දේශපාලන ලෝකේ ඉන්න නායකයෝ මතක තියාගතයුතු දෙයක් තමයි සේවය සඳහායි කැඳවීම ලබාගෙන තිබෙන්නේ.” යැයි කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසීය.

Exit mobile version