මහින්දානන්දගේ එක් නඩුවක් අවසන්

පසුගිය ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් ආනයනය කරන ලද කැරම්බෝඩ් සහ දාම් ලෑලි ක්‍රීඩා සංගම් වලට බෙදා දීම තුළින් රුපියල් මිලියන 53 ක මුදලක් රජයට පාඩු සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අවසන් කිරීමට අද (27) නියම කෙරුණි.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ එම විත්තිකරුවන්ට එරෙහිව මේ වනවිට කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන මෙම නඩු කටයුත්ත අවසන් කරන ලෙසද අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුත්ත නිමා කිරීමට තීන්දු කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සිතාසි ලැබුණු පසුව විත්තිකරුවන්ට කොළඹ විශේෂ මහාධිකරණයේ පෙනී සිටින ලෙසද දැනුම් දුන්නේය.

2014 වසරේ සැප්තැම්බර් මස පලමුවනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම  පැමිණිල්ල මගින් චෝදනා එල්ල කර  තිබේ.

Exit mobile version