මම වැඩ කළේ වසර 200 කට ඔරොත්තු දෙන විදියට

පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙක් ලෙස තමා තරම් කිසිවෙකු විවේචනයට ලක්ව නොමැති බව බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

හෝමාගම පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

තමාගෙන් ඕනෑම අයෙක් පැමිණි, පියතුමෙක්, ස්වාමීන් වහන්සේ නමක් හෝ ඕනෑම අසරණ අයෙක් ඉල්ලන මුදලක් ලබා දෙන බව ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

ඒ මුදල ලක්ෂ 10 ක් ද 15 ක් ද 50 ක් ද 100 ක් ද 400 ක් ද 500 ක් එවෙලෙම ලබා දෙන බවද ඒ මහතා කියා සිටියේය.

බස්නාහිර පළාතේ මහ ඇමති වැනි තනතුරක් ඉතා වාසනාවන්ත බවද පැවසු ඉසුර දේවප්‍රිය මහතා, මහ ඇමති කෙනෙක් වෙනව නම් වෙන්න ඕනේ බස්නාහිර පළාත තුළ බවද සඳහන් කළේය.

වෙනත් පළාත් සභාවක මහ ඇමති කෙනෙක් වෙලා මෙවැනි දේ කළ නොහැකි බවද වැඩ කරන කලාව තමා මේ පළාතට පෙන්වා දුන් බවත් පැවසු දේවප්‍රිය මහතා, සියලු මාධ්‍ය තමාට වට කර ගෙන ගැසු බවද කියා සිටියේය.

තමා තනතුරේ ඉන්න විට තමා තරම් ජනප්‍රිය කෙනෙක් නොමැති බවත් පැවසු ඒ මහතා, විසිරී තිබු පළාත් සභාව කෝටි 71 වියදම් කර බත්තරමුල්ලට ගෙනා බවත් පැවසීය.

පළාත් සභාවෙන් කෝට්ටේ රජතුමා විසින් සැදූ දොර ඒ ලීයෙන්ම සාදලත් තමාට මඩ ගැසු බව පැවසු ඉසුර දේවප්‍රිය මහතා, තමා කිසිදු දෙයකින් සැලෙන්නේ නැති බවත්, තමා සෑදු පළාත් සභාව තමා ගෙනියන්නේ නැති බවත් තමා වැඩ කළේ වසර 200 කට ඔරොත්තු දෙන විදියට බවද කියා සිටියේය.

Exit mobile version