පොලිස්පති පූජිත්ගේ දිවුරුම් ප්‍රකාශය පිළිගන්නේ ද නැද්ද – තීන්දුව අද

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනුකර ඇති දිවුරුම් ප්‍රකාශය පිළිගන්නේ ද නැද්ද යන නියෝගය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාල දිවුරුම් ප්‍රකාශය අසත්‍ය පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර ඇති බැවින් එය වහා ඉවත් කිරිමට නියෝග කරන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබුණි.

සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ එම පෙත්සම් සලකා බැලූ අතර අදාල විරෝධතාව පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.

එම දිවුරුම් ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ විරෝධතාව ලිඛිතව අධිකරණයට සහ පූජිත් ජයසුන්දර මහතාගේ නීතිඥවරයාට ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබුණි.

Exit mobile version