දිස්ත්‍රික්ක 3කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

පවතින වැසිතත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (23) උදෑසන 11.30 සිට හෙට උදෑසන 11.30 දක්වා මෙම නිවේදනය සිදුකළ බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සදහන් කළේය.

මේ අතර දිවයින බලපා ඇති වර්ෂාපතන තත්ත්වයේ තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් පාලිත විමලසූරිය මහතා සදහන් කළේය.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර ගතවූ පැය විසි  හතර තුළ දිවයිනේ විවිධ ප්‍රෙද්ශ වලින් ජලගැලීම් ඇතුළු ආපදාවන් රැසක් වාර්තා විය.

දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රෙද්ශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටියි.

පවතින වර්ෂාධික කාලගුණික තත්ත්වය හමුවේ වැලිමඩ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ පුහුල්පොල සිට හාලිඇල දක්වා ප්‍රදේශයේදී  මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් මතුව තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ මෙම දිනවල පවත්නා වැසි තත්ත්වය හමුවේ නිල්වලා ගඟ තවදුරටත් පිටාර ගලමින් පවතියි.

ඊයේ (22) සවස් කාලය වන විට අකුරැස්ස ප්‍රදේශයේ පෝරතොට, අගලකඩ, පානදුගම, මාරගොඩ ආදී පහත් බිම් රැසක් ජලයෙන් යටව පැවති අතර පානදුගම මාරගොඩ ප්‍රදේශයේ මාර්ගය ජලයෙන් යටවීමෙන් ගමනා ගමනයට බාධා මතු විය.

ගිං ගඟේ ජල මට්ටම ඊයේ දිනට සාපේක්ෂව අද ඉහළ මට්ටමක පවතින අතර මේ හේතුවෙන් බද්දේගම හෝළුවාගොඩ ප්‍රදේශයේ පහත්බීම් රැසක් ජලයෙන් යටවී ඇත.

මේ අතර පවතින අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් රාවණා ඇල්ලෙහි දිය පහර ප්‍රචණ්ඩ ස්වභායක් ගෙන තිබේ.

Exit mobile version