රතු පැහැයට පමණක් ප්‍රිය කරන අපූරු කාන්තාවක්

රතු පැහැය පමණක් ප්‍රිය කරන අපූරු කාන්තාවක් පිළිබඳව බොස්නියාවෙන් තොරතුරු වාර්තා වෙයි.

විශ්‍රාමික ගුරුවරියක් වන සොරිකා රෙබර්නික් වාසය කරන්නේ උතුරුදිග බොස්නියාවේ  බ්‍රීස් නගරයේයි.

ඇය එම නගරයේ පමණක් නොව ලොව පුරා ජනතාව අතරද ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ රතු පැහැයට දක්වන දැඩි ඇල්ම හේතුවෙන්.

හැට හත් හැවිරිදි රෙබර්නික්ගේ ඇඳුම් පැළඳුම්, නිවස, සැරසිලි, ගෘහ භාණ්ඩ පමණක් නොව හිසකෙස්ද රතු පැහැයෙන් යුතුයි.

තමාට වයස අවුරුදු 18දී පමණ හදිසියේම රතු පැහැයෙන් පමණක් සැරසී සිටීමට දැඩි ආශාවක් ඇතිවූ බව රෙබර්නික් පවසයි.

සිය විවාහ උත්සවයේදී ඇය ඇඳි මංගල ගවුමද රතු පැහැ එකක්වූ බව සඳහන් වෙයි.

එමෙන්ම නිවසේ බුමුතුරුණු, ඇඳ ඇතිරිලි, පිගන් කෝප්ප යනාදි සියළු බඩු බාහිරාදිය රතු පැහැයෙන් පමණක් තෝරා ගැනීමට ඇය වගබලාගෙන තිබේ.

සාම්ප්‍රදායානුකූලව වෙනත් පුද්ගලයන් අවමගුල් අවස්ථාවලට කළු පැහැයෙන් සැරසී සහභාගි වුණත් සොරිකා රෙබර්නික් ඒවාටද සහභාගි වන්නේ රතු පැහැයෙන් සැරසී බව විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම තමාට ලැබෙන ත්‍යාග, කොතරම් මිල අධික වුවත් රතු පැහැ නොවේනම් රෙබර්නික් ඒවා ප්‍රතික්ෂේප කරයි.

රතු හා රතු වර්ණයේ ප්‍රභේද පමණක් තෝරාගැනීමෙන් බලය හා ශක්තිය ගෙනදෙන හැඟීමක් ඇතිවන බව ඇය පවසයි.

රතු පැහැයට දක්වන දැඩි ඇල්ම හේතුවෙන් රොබර්නික්, ඇය වාසය කරන නගරයේ ජනප්‍රිය තාරකාවක් බවට පත්වී තිබේ.

එමෙන්ම තමා සහ සැමියා මියගිය පසුව මිහිදන් කළ යුතු ස්ථානයේ තමන් දෙපළ වෙනුවෙන් සොහොන් කොත් දෙකක්, ජීවතුන් අතර සිටියදීම ඉදිකිරීමටද ඇය පියවර ගෙන තිබේ.

එම සොහොන් කොත් ඉදිකර තිබෙන්නේද ඉන්දියාවෙන් ආනයනය කරන ලද රතු පැහැති ග්‍රැනයිට් විශේෂයකින්.

Exit mobile version