ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයෙන් ජනපතිට උපහාර

කලාකරුවන්ට විශ්‍රාම වැටුපක් හිමිකරදීම ඇතුළු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉකුත් පස් වසර පුරා ගෙන ගිය සුවිශේෂි වැඩපිළිවෙළ උදෙසා ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයෙන් ජනපතිට උපහාර පුද කෙරේ.

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය උපහාරය පුද කරමින් සංවිධානය කළ විශේෂ හමුවක් ඊයේ (04) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

ඉකුත් පස් වසර පුරා ජනාධිපතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ මේ රටේ කලාකරුවන්ට මහත් ශක්තියත් වූ බව මෙහි දී ගායක ගායිකාවන් පෙන්වා දුන් අතර, කලාකාමී සහ මානවවාදී නායකයෙකු වූ වත්මන් ජනාධිපතිතුමා කලාකරුවන් වෙනුවෙන් ඉටුකළ අමිල මෙහෙවරට සිය කෘතවේදිත්වය පළ කර සිටියහ.

ජනාධිපතිතුමා වෙත සිය උපහාර පුදකරමින් සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සියලු ජනතාව සාමයෙන්, සමඟියෙන් සහ සහෝදරත්වයෙන් ජීවත්වන මානවවාදී රටක් ගොඩනැඟෙන්නේ කලාකාමී සමාජයක් තුළ බවයි.

පුර්ණකාලීනව වසර 52කට ආසන්න සිය දේශපාලන ජීවිතය තුළ මෙන්ම තම ජීවිත කාලය තුළ වඩාත්ම සතුටට පත්වන කාරණය වන්නේ මතු පරපුර මත් උවදුරෙන් ගලවා ගැනීමට තමා ගෙන ගිය වැඩපිළිවෙළ බව මෙහි දී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඉදිරියේ දී එය සාර්ථක කර ගැනීමට කලාකරුවන් ලෙස සියලුදෙනාට පුළුල් වැඩකොටසක් ඉටුකළ හැකි බවයි.

ඒ සඳහා කැපවී කටයුතු කරන්නැයි ද ජනාධිපතිතුමා මෙහිදී සමස්ත කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

Exit mobile version