මහාධිකරණවල නඩු ගොඩගැසීම වැළැක්වීමේ අරමුණින් දිනපතා නඩු විභාග කිරීම අනිවාර්යය කරයි

මහාධිකරණවල නඩු ගොඩගැසීම වැළැක්වීමේ අරමුණින් මහාධිකරණවල නඩු විභාග කිරීම් දිනපතාම සිදු කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇත.
ජූරි සභාවක් සහිත හෝ රහිතව මහාධිකරණයේ පැවැත්වෙන සෑම නඩු විභාගයක් ම හැකි සෑම විටකදීම දිනපතා පැවැත්විය යුතු බව අපරාධ නඩු විධාන පනතේ සඳහන් වී තිබුණ ද එසේ දිනපතා නඩු විභාග නොපැවැත්වෙන හෙයින් නඩු විශාල සංඛ්‍යාවක් මහාධිකරණවල ගොඩගැසී තිබේ.
2017 සැප්තැම්බර් මාසය වන විට මෙම මහාධිකරණවල විභාග වෙමින් පැවැති මුළු නඩු සංඛ්‍යාව 17565ක් බවත් යුක්තිය පසිඳලීම ප්‍රමාදවීම අහිතකර ප්‍රතිවිපාකවලට හේතුවන බැවින් මෙම තත්ත්වයට කඩිනමින් පිළියම් යෙදීම අවශ්‍ය බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.
Exit mobile version