වසර 7කට පසුව මත්තලට එමිරේට්ස් ගුවන් යානයක්

කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට ඇති වු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩ බැස්සවීමට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේ ම මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල වෙත යොමු කිරීමට කටුනායක ගුවන්තොටුපල බලධාරීන් පියවර ගෙන තිබුණි.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 652 දරන ගුවන් යානය ඊයේ (18) සවස 6.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණියත්, ඒ වනවිට ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසා, එම ගුවන් යානයේ ගුවන් නියමුවන් මුහුණ දී සිටි අපහසුතා සැලකිල්ලට ගෙන මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ අතර එය සවස 6.56 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබුණි.

ඒ වනවිට මත්තල ගුවන් තොටුපළ අවට කාලගුණික තත්ත්වය යහපත් මට්ටමින් පැවතුණි.

එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් වසර 07 කට පසුව මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීම විශේෂත්වයකි.

මෙම එමිරේට්ස් ගුවන් යානය බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක් වන අතර එහි මගීන් 76 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටි අතර, ඔවුන් ගුවන් යානයෙන් පිටතට නොබැස්ස වීමට පියවර ගෙන තිබුණි.

මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමේ දී එහි ඇන්ජින් වෙත කුරුල්ලන් කීප දෙනෙකු ගැටීමකට ලක් වූ බවට ගුවන් යානයේ නියමුවා විසින් මත්තල ගුවන් ගමන් මෙහෙයුම් මැදිරිය වෙත දැනුවත් කිරීමක් සිදු කර තිබුණි.

එනිසා විධිමත් පරීක්ෂණයකින් පසුව පමණක් තම ගුවන් යානය පිටත්වීම සිදු කරන බව ගුවන් නියමුවා පාලන මැදිරිය වෙත දන්වා තිබුණි.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y- 12 වර්ගයේ ගුවන් යානයකින් ගුවන් යානා ඉංජිනේරුවරයෙකු මත්තල ගුවන් තොටුපළ වෙත රාත්‍රී 10.37 ට පැමිණ තිබේ.

ඉන්පසුව එම ගුවන් යානා  ඉංජිනේරුවරයා මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් පසුව එවැනි ගැටීමක් සිදු වී නොමැති බව තහවුරු කර සහතික කර තිබේ.

ඉන්පසුව මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා දීමෙන් අනතුරුව, ගුවන් යානය මත්තල ගුවන් තොටුපළෙන් රාත්‍රී 11.20 ට කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්වූ අතර, එම ගුවන් යානය රාත්‍රී 11.40 කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.

ඒ සමඟම ගුවන් යානා ඉංජිනේරුවරයා රැගෙන මත්තල බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Y- 12 ගුවන් යානය ද කටුනායක බලා පිටත්විය.

ඒ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට කාලගුණික තත්ත්වය යහපත් මට්ටමක පැවති අතර, ගුවන් තොටුපළ ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් තිබුණි.

Exit mobile version