කතානායකගෙන් නිවේදනයක්

විපක්ෂ නායක ධුරය බලාත්මක වන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අවසන් එකඟතාව නිල වශයෙන් දැනුම්දීමෙන් අනතුරුව එය තමා විසින් ඊළඟ පාර්ලිමේන්තු දිනයේදී ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පමණක් බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන් 57 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ඊයේ පස්වරුවේ තමා වෙත ලැබුණු බවයි.

අදාළ අත්සන් සහිත ලිපියේ පිටපතක් කතානායකවරයා, එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වෙත යොමු කර තිබේ.

අදාළ මන්ත්‍රීවරුන් 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳ අවධානය යොමුකොට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස සිය ස්ථාවරය තමාට දැනුම් දෙන්නැයි කතානායකවරයා එම ලිපියෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාට දැනුම්දී ඇතැයි කතානායක කාර්යාලය සඳහන් කළේ ය.

මේ වන විට විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වෙනස් මත දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් විපක්ෂ මන්ත්‍රීවරුන් සාකච්ඡා කර අවසන් එකඟතාව මත ගන්නා තීරණය තමා වෙත නිල වශයෙන් දැනුම් දෙන්නැයි ද කතානායකවරයා දැනුම්දී තිබේ.

Exit mobile version