පොලීසියට එල්ල වන චෝදනා අහෝසි කරන්න පියවර ගත යුතුයි

දූෂිත බවට පොලීසියට එල්ල වන චෝදනා අහෝසි කිරීමට රථ වාහන භාර පොලිස් ස්ථානාධිපතිවරුන් පියවර ගත යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රථ වාහන අනතුරු සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීම සදහා මහනුවර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර රට තුල සිදුවන මාර්ග අනතුරුවලින් පොලීසියට වාර්තාවන්නේ දොළහෙන් එකක් පමණක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය

“2018 වන විට අපට වාර්තා වන්නේ රිය අනතුරු 35,000 යි. නමුත් රක්ෂණ සමාගම් කියන විදිහට වසරකට රිය අනතුරු ලක්ෂ පහක් සිදු වෙනවා. නමුත් ඒවා අපට වාර්තා වෙන්නේ නෑ.

ඒ නිසා 2017 නීති සංශෝධනයෙන් අපි ගෙනල්ලා තියෙනවා අනතුර කොහේ සිදු වුණත් ඒ අය සමාදාන වුණත් පොලීසියට දැනුම් දෙන්න ඕන කියලා.

නමුත් අපට වාර්තා වෙන්නේ ලංකාවේ සිද්ධ වෙන රිය අනතුරුවලින් දහයෙන් එකක් හෝ දොළහෙන් එකක් විතරයි.

2009 ඉඳලා 2018 වෙන කොට වසර දහයක් තුළ ලංකාවේ රිය අනතුරුවලින් 30,000 ක් මැරිල තියෙනවා.

සාමාන්‍යයෙන් රිය අනතුරකින් කෙනෙක් මැරුණහම ඒ මරණයට අවශ්‍ය නීතිමය කටයතු අවසන් කිරීම සඳහා රුපියල් මිලියනයක් විතර වියදම් වෙනවා. මේ අවුරුදු දහය තුල 30,000 ක් මැරිල තියෙනවා.

ඒ සඳහා කර ඇති වියදම මිලියන 30,000 ක්. මේ මුදලින් කිලෝ මීටර් 10 ක 15ක විතර අධිවේගී මාර්ගයක් හදා ගන්න පුළුවන්. මේ මුදල් ඉතිරි කර ගන්න පුළුවන් මුදල්.

ලෝකය දෙස බැලුවොත් ලෝකයේ මිලියන 1.26 ක් වසරකට මැරෙනවා. සෑම තත්පර 25 කටම සැරයක් ලෝකයේ කොහේ හරි එක්කෙනෙක් රිය අනතුරකින් මැරෙනවා.

ලංකාවේ ගිය වසරේ 3113 දෙනෙකු මැරිල තියෙනවා. ලංකාවේ සෑම පැය දෙකයි විනාඩි 49 කටම එක් අයෙක් රිය අනතුරකින් මැරෙනවා.

ඒ වගේම ගිය වසරේ 20539 කුට තුවාල වෙලා තියෙනවා. ඒ කියන්නේ පැයකට දෙන්නෙකුට වඩා තුවාල වෙලා තියෙනවා.

මේ අතරින් වැඩියෙන්ම මැරිල තියෙන්නේ යතුරු පැදිකරුවන්. ඊළඟට මැරිල තියෙන්නේ පාරේ පයින් ගිය අය. ඊළඟට වැඩියෙන්ම මැරිල තියෙන්නේ මගීන්.

අද අපේ සීසීටීවි කැමරා පද්ධතිය බැලුවහම මිනිස්සුන්ගේ ජීවිත සතුන්ගේ ජීවතවලට වඩා අන්ත තත්වයට පත් වෙලා තියෙන බව පේනවා.  මේ තත්වය ඉතාම අවාසනාවත්න තත්වයක් ලෙසයි අපි දකින්නේ. ඒ නිසා මේ තත්වය නැති කර ගන්න පොලීසියට තනිවම බෑ සියලු දෙනාගේ දායකත්වය අවශ්‍යයි.”

මේ අතර නොයකුත් ස්ථානවල සිටින යාචකයින් රිදියගම ප්‍රදේශයේ පිහිටි කදවුරක් වෙත රැගෙන ගොස් එහි රදවා තබාගත යුතු බවට පොලිස් මූලස්ථානය මගින් පොලිස් ස්ථාන වෙත නිකුත් කළ බවට පැතිර යන ප්‍රචාරය අසත්‍යක් බව එම මූලස්ථානය පවසයි.

Exit mobile version