එජාප නායකත්වය සජිත්ට නොදුන්නොත් විකල්ප ක්‍රියාමාර්ග

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සම්බන්ධයෙන් අද (16) දිනයේ පැවැත්වෙන රැස්වීමේදී අවසන් තීරණයක් නොගන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ කටයුතු සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

 

පක්ෂ නායකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට මේ වනවිට ප්‍රමාද වී ඇති බවත්, කුමන තීරණයක් හමුවේ වුවද ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වන බවත්, විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහිදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අපි පැහැදිලිව පසුගිය සතියේ තිබුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී බහුතරයක් ඉල්ලා සිටියා සජිත් ප්‍රේමදාස මැතිතුමාට පක්ෂ නායකත්වය ලබාදෙන්න කියලා. එතනදි ඉල්ලීමක් ආවා කරු ජයසූරිය මැතිතුමා මේ යාන්ත්‍රණයට ගන්න ඕන කියලා. අපිත් පිළිගන්නවා කරු ජයසූරිය මහතා මේ යාන්ත්‍රණයට ගන්න ඕන.

හැබැයි ගන්න ඕන කියලා කරු ජයසූරිය මැතිතුමාට නායකත්වය දෙන්නත් එයාලා සූදානම් නෑ. ඇත්තටම කියනවා නම් කරු ජයසූරිය මැතිතුමාව අපට පාවිච්චි කරන්න තිබ්බෙ 2015 දී. කරු ජයසූරිය මැතිතුමා 2015 දී අපි ජනාධිපති ධුර අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කළා නම් අද මේ ප්‍රශ්න නෑ.

මේ අවුරුදු හතරහමාරේ තිබුණ ප්‍රශ්න නෑ. අපට අපේ නායකයෙක් යටතේ, අපේ ජනාධිපතිවරයෙක් යටතේ මේ අවුරුදු පහ රට හොඳ දිශාවකට ගෙනියන්න තිබ්බා. ඉතින් එදා කරු ජයසූරිය මහතාගේ තිබුණ සිංහල බෞද්ධකම්, වටිනාකම් අඳුනගත්තෙ නැති අය අද කරු ජයසූරිය මහත්තයාගේ වටිනාකම් හඳුනාගෙන තියෙනවා.

අවුරුදු පහකට පස්සෙ එතුමාගේ සේවය තවදුරටත් අපට අවශ්‍යයි. අපි විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මහතාට මේ පක්ෂ නායකත්වය දීලා, සන්ධානේ නායකත්වය දීලා මේ මැතිවරණය මෙහෙයවන්න කටයුතු කළොත් නියත වශයෙන්ම එකසිය දහතුනකට වැඩි ඉලක්කයකට යන්න පුළුවන් වෙයි කියලා”

යැයිද පැවසීය.

මාධ්‍ය‘වේදීන් නැගූ ප්‍රශ්නවලටද එහිදී මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය – එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව පත් කිරීමට රහස් ඡන්දයක් පාවිච්චි කරන්න ඔබලාගේ බලාපොරොත්තුවක් තියෙනවාද?

පිළිතුර – ඕන එකකට සූදානම් පිට රැස්වීම්වලට සහභාගි වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ මෙම රැස්වීම අද (16දා) පස්වරු 4.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

Exit mobile version