ප්‍රාථමික පන්තියක පාසල් සිසුන් 40 ක් දක්වා වැඩි කරයි

පාසල්වල ප්‍රාථමික අංශයේ පන්ති කාමරයක් තුළ සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

ඒ, අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

ප්‍රාථමික අංශයේ පන්ති කාමර තුළ පවතින තදබදය අවම කිරීමේ අරමුණින් එම තීරණය ගත් බව, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේය.

මේ වනවිට ප්‍රාථමික ශ්‍රේණිවල පන්ති කාමරයක සිටින සිසුන් ගණන 35කි.

මේ අතර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය මාතලේ, නුගගොල්ල ධර්මදීප ප්‍රාථමික විද්‍යාලයේදී අද පෙරවරුවේ පැවැත්වේ

ඒ, අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙනි.

වාර්ෂිකව පළමු ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් දහසකට ආසන්න ය.

මේ අතර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් පසුගිය කාලයේ පැමිණිලි රැසක් ලැබී තිබුණි.

ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන්ට එරෙහිව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවන අල්ලස් ගැනීම් පිළිබඳ පැමිණිලි 1954 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් පවසයි.

Exit mobile version