රවීගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස ද දන්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් පත්කර තිබේ.

 

2016 වසරේ මාර්තු මස පැවති බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 50කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්ම, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් දා කොළඹ කොටුව අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබුණි.

රවි කරුණානායක මහතා සිය පෙත්සමෙන් සඳහන් කර සිටින්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවයි.

එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලීසිය විසින් ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවි කරුණානායක මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව තමන්ව අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදෙස ද බලරහිත කරන ලෙසයි ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙයි.

ඊට අමතරව මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ වරයා, වැඩබලන පොලිස්පති වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Exit mobile version