මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධා කිරීම ගැන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පරීක්ෂණයක් ඉල්ලයි

අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ දී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් සිදුකරන මෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, රජයේ නිල මාධ්‍යවේදී හැඳුනුම්පත නිකුත් කරන බලධාරියා වශයෙන් තමා මෙම ඉල්ලීම සිදුකරන බවය.

ඊයේ (10) අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රයේ දී වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් මාධ්‍යවේදියෙකුගේ වෘත්තීය කටයුතුවලට බාධා කරන අයුරු මෙන්ම ඔහුට ශාරීරිකව ද බලපෑම් කරන අයුරු වාර්තා විය.

එම සිදුවීමට මුහුණදුන් මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේ දී අකිල ජයවර්ධන මහතා විසින් සිදුවීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළ වෙත පැමිණිල්ලක් යොමු කෙරිණි.

මාධ්‍ය හැඳුනුම්පත දරන මාධ්‍යවේදියෙකුට සිය නීත්‍යනුකූල රාජකාරිය බාධාවකින් තොරව සිදුකිරීමට අවස්ථාව හා සහයෝගය සලසා දීම සියලු පාර්ශවයන්ගේ වගකීම බව ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ අතර, සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

කොළඹ මධ්‍යම කොට්ඨාශය බාර පොලිස් අධිකාරීවරයාගේ මාර්ගයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කෙරෙන බව ද ඒ මහතා කියාසිටියේය.

Exit mobile version