Home දේශීය පුවත් ශානි සහ අනුර අභියාචනාධිකරණයට

ශානි සහ අනුර අභියාචනාධිකරණයට

0
ශානි සහ අනුර අභියාචනාධිකරණයට

ඇවන් ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා කරන ලද පැමිණිල්ලක් මත දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් තමන්ට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන නොතීසිය බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

 

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එහි සාමාජිකයින් වන ඩී.සී. ජයතිලක  සහ චන්ද්‍රා ප්‍රනාන්දු මෙන්ම එම කොමිසමේ ලේකම්වරයා, නීතිපති දප්පුල ද ලිවේරා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර සහ ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති යන අය නම් කර ඇත.

පෙත්සම්කාර අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම විසින් ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා තමන්ට මෙම මේ මස 16 වන දා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇති බවය.

අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරනු ලැබූ ජනාධිපති කොමිසම පිහිටුවීමට අදාළව ඉකුත් ජනවාරි මස 09  වනදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව එම කොමිසමට විමර්ශන සිදුකිරීම සඳහා බලය පැවරී තිබෙන්නේ රාජ්‍ය සේවකයින් විසින් ඉදිරිපත් කරන පැමිණිලි පමණක් බවය.

ඒ අනුව ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල විභාග කිරීමට එම කොමිසමට බලයක් නොමැති බව පෙන්වා දෙන අනුර කුමාර දිසානායක මහතා ඒ අනුව එම විමර්ශනය සඳහා තමන්ව කැඳවීම සඳහා නිකුත් කර තිබෙන නොතීසිය ද බල රහිත ලියවිල්ලක් බව කියාසිටියේය.

මේ හේතුවෙන් එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තමන් වෙත නිකුත් කර තිබෙන නොතිසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින අනුර දිසානායක මහතා, සේනාධිපති මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලට අදාළව පවත්වනු ලබන විමර්ශනය අත්හිටුවීමෙන් අතුරු නියෝගයක් නිකුත් වන ලෙස ද වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබදව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කරමින් මේ මස 17 වනදා පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන නොතීසිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් ද අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version