හෙරොයින් ජාවාරම්කරු ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 18.01 ක් සන්තතයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද (24) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

 

කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.මෙසේ දඬුවම් නියම වුණේ තිස්තුන් හැවිරිදි දෙදරු පියෙකුට ය.

2013 වසරේ ඔක්තෝබර් මස 30 වනදා ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවට තීන්දු කර ඇත.

ඒ අනුව, ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවද නඩු තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කර තිබේ.

Exit mobile version