ත්‍රීරෝද රථ අනතුරකින් දරුවන් තිදෙනෙක් ඇතුළු හයකට තුවාල

වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් කුඩා දරුවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙක් තුවාල ලබා තිබේ.

 

ඊයේ(06) දිනයේ එම ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇත.

ගාල්ල ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශය දක්වා ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ කුඩා දරුවන් තිදෙනකු, කාන්තාවක්, රියදුරු සහ තවත් පුද්ගලයෙක් ගමන් කරමින් සිට ඇති බව තණමල්විල පොලිසිය පැවසීය.

අනතුරින් පසු තුවාල ලැබූවන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළුත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවට අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථාන පොලීසිය විසින් සිදුකරයි.

Exit mobile version