Home දේශීය පුවත් 20ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හයක්

20ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හයක්

0
20ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ රජය විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්තිවලින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතිකකර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය කරන බවය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් ඒවා අනුමත වී පසුව ජනමත විචාරණයකින් ද අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

20 වන සංශෝධනය අභියෝගයට ලක්කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් හයක් ගොනු කර තිබේ.

සමගි ජන බලවේගය, නීතිඥ ඉන්දික ගාල්ලගේ, අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි ප්‍රධාන විධායක පාක්‍යසෝති සරවනමුත්තු යන පාර්ශව විසින් අදාළ පෙත්සම් ගොනු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version