අධි අවදානම් කලාප බවට පත් වූ ප්‍රදේශ තුන

අද(11) දිනයේ අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් මාලිගාතැන්න, කූරිකොටුව සහ එළුවාපිටිය යන ග්‍රාමයන් තුන වසා දමමින් අධි අවදානම් කලාපයක් බවට පත්කිරීමට පියවර ගත් බව කොරෝනා මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සදහන් කළේය.

 

ඒ අදාල ප්‍රදේශ වලින් පුද්ගලයින් 37 දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම හේතුකොටගෙනය.

ඒ අනුව එම ප්‍රදේශයන්ට ඇතුළුවීම සහ පිටවීම තහනම් කර ඇති බවත් එම ප්‍රදේශයන්ට පිටස්තර කිසිවෙකුටත් පැමිණීමට නොහැකි වන ලෙසින් මාර්ග බාධක යෙදීමට ආරක්ෂක අංශ අවශ්‍ය පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි.

මාලිගාතැන්න, කූරිකොටුව සහ එලුවාපිටිය යන ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී වසම් 7ක් මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇති බැවින් එම ප්‍රදේශයන්හි වෙසෙන පවුල් 3688කට අයත් සාමාජිකයන් 12,600 ක් පමණ වන පිරිසකගේ අවශ්‍යතා සපුරාලීමට අදාල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන මගින් පියවර ගනිමින් තිබේ.

ඊයේ දිනයේදී කොරෝනා රෝගීන් 10 දෙනෙකු අත්තනගල්ල ප්‍රදේශයෙන් හමුවූ බව කොරෝනා මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්‍යසාධක බලකාය පවසන අතර මේ පිරිස අතර භික්ෂූන් වහන්සේලා 04දෙනෙකුද සිටි බව වාර්තා වෙයි.
Exit mobile version