Home දේශීය පුවත් හෙට සිට යහපාලන සමයේ රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සෙවීම ඇරඹේ

හෙට සිට යහපාලන සමයේ රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සෙවීම ඇරඹේ

0
හෙට සිට යහපාලන සමයේ රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සෙවීම ඇරඹේ

හෙට(27) සිට යහපාලන සමය තුළ දී රාජ්‍ය බැංකු මගින් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුව අදාළ චෝදනා ලත් පාර්ශවවලින් සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ වෙයි.

 

ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක ණය ලබාදීමේ සහ අයකර ගැනීමේ අංශවලට සම්බන්ධ උසස් නිලධාරීන් කිහිප දෙනෙක් සාක්ෂි ලබා ගැනීම සඳහා කැදවා ඇති බව එම කමිටුව පවසයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අංක 2/132 ස්ථානයේ පිහිටි එම කමිටුවේ නිල කාර්යාලයේ දී හෙට පස්වරු 2.00ට සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කිරීමට නියමිතයි.

කමිටුව වෙත මේ වන විට අදාළ බැංකු මගින්,වෘත්තීය සමිති මගින් සහ මහජනතාව පැමිණිලි 200කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පැමිණිලි පිලිබඳ මූලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව චෝදනා එල්ල වී ඇති පාර්ශව කැඳවා සාක්ෂි සටහන් කර ගැනීම මෙසේ ආරම්භ කෙරේ.

2015 ජනවාරි මස 8 වැනිදායින් පසු ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ සිදුව ඇති අක්‍රමිකතා, එකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පටිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ එලදායී නොවූ ක්‍රියාවන් හා ගණුදෙනු විධිමත්ව අධ්‍යානය කිරීම සඳහා මෙම සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඉදිරියේ දී එවැනි තත්වයන් ඇති නොවීම සඳහා ගතයුතු නෛතික,මූල්‍ය හා පරිපාලන පියවර පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමත්,මූල්‍ය පාඩුවලට වගකිව යුතු නිලධාරීන් හා බාහිර පාර්ශවයන් හඳුනාගැනීමත් සහ රාජ්‍ය බැංකු පද්ධතිය ජනතාවට වඩාත් හිතකර සේවාවක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමත් මෙම කමිටුවට පැවරී තිබේ.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම හා රාජ්‍ය බැංකු තුළ සිදුවූ අක්‍රමිකතා සොයා බැලීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනූව මෙම කමිටුව පත් කෙරිණ. මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතායි.

වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා හා විශ්‍රාමික අතිරේක විගණනාධිපති ඩබිලිව්.ප්‍රේමානන්ද යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක් කමිටුවේ ලේකම් ධුරය දරනු ලබයි.

මෙම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන අදාළ නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version