බයිඩ්න්ගේ ජය තහවුරු කෙරේ : ලෝක නායකයින් ට්‍රම්ප්ගේ සහයකයන්ගේ ක්‍රියා හෙළා දකී

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න්ගේ ජය අමෙරිකානු කොංග්‍රසය විසින් අද තහවුරු කළේය.

 

ඒ ඡන්ද විද්‍යාල මැතිවරණ ප්‍රතිඵලය පිළිගනිමිනි.

උප ජනාධිපති ලෙස කමලා හැරිස්ව පිළිගන්නා බව ද අමෙරිකානු කොංග්‍රසය තහවුරු කළේය.

ජනාධිපති ට්‍රම්ප්ගේ සන්නද්ධ ආධාරකරුවන්, සෙනෙට් සභා ගොඩනැගිල්ලට කඩා වැදීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වීමෙන් අනතරුව මෙම පිළිගැනීම තහවුරු විය.

එම නොසන්සුන්තාවයේදී පුද්ගලයින් 04 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහයකයින් වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් හෙවත් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදී සිදු කළ කළහකාරී සිදුවීම ලෝක නායකයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

ඇමරිකාවේ වොෂිංටන් නුවර ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිවරයෙකු වන බැරැක් ඔබාමා ප්‍රකාශයක් නිකුත්කර තිබේ.

ඔහු පවසා ඇත්තේ, තම ජාතියට මහත් අගෞරවයක් හා ලැජ්ජාවක් ගෙන දෙන මොහොතක් ලෙස මෙම අවස්ථාව සළකන බවයි.

මාස දෙකක කාලයක් තිස්සේ ඔහු තම අනුගාමිකයන්ට සත්‍ය පැවසීමට අකමැති වී ඇති බවත් මෙවර ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵලයට අනුව නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩ්න් ජනවාරි මස 20 වැනිදා සිය පාලනය ආරම්භ කරන බවත් බැරැක් ඔබාමා හිටපු ජනපති පවසා තිබේ.

එම ප්‍රකාශය පහතින්:

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි – ”වොෂිංටනයේ කැරලි සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ කම්පාවට පත්ව සිටී. විධිමත් හා සාමකාමී ලෙස බලය පැවරීම කළ යුතුයි. නීතිවිරෝධී විරෝධතා මගින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය යටපත් කිරීමට ඉඩ දිය නොහැක’‘

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය  – ”එක්සත් ජනපදය ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. අමෙරිකාවට දැන් ප්‍රජාතන්ත්‍රවාදිව සාමකාමී හා විධිමත් ලෙස බලය පැවරීම අත්‍යාවශ්‍යයි”

බ්‍රිතාන්‍ය විපක්ෂ නායක – ”ප්‍රජාතන්ත්‍රවාදයට එලල් වූ ප්‍රහාරයක්”

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චස් – ”එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය ගැන මට විශ්වාසයි. ජෝ බයිඩ්න්ගේ ජනාධිපති ධුරය අමරිකානු ජනතාව එක්සත් කරමින් මෙම නොසන්සුන්කාරී අවධිය ජය ගනු ඇත”

යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මිෂෙල් – ”එක්සත් ජනපද කොංග්‍රසය ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොළයි. වොෂිංටනයේ දර්ශන දැකීම කම්පනයක්… බයිඩ්න්ට සාමකාමීව බලය පැවරීම සහතික කෙරෙන බවට විශ්වාස කරමු”

නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් – ”ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට ගරු කළ යුතුයි”

කැනඩා අගමැති ජස්ටින් ට්‍රෑඩෝ  – ”කැනේඩියානු ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මෙම ප්‍රහාරයෙන් දැඩි සේ කළබලයට මෙන්ම කනගාටුවට ද පත්ව සිටී”

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් – ”ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය, ඔවුන්ගේ හඬට සවන් දීම එම තීරණය සාමකාමීව පිළිගැනීමට ඇති අයිතිය කිසි විටෙකත් මැර පිරිසක් විසින් අවලංගු නොකළ යුතුය”

ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්  – ”සාමකාමී බල හුවමාරුවක් පලාපොරොත්තු වෙනවා”

උද්ගතව ඇති තත්ත්වය හමුවේ, භයානක මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ ප්‍රහාරයක් ලෙස හෙළා දකින ලොව බොහෝ නායකයින් අමෙරිකාවෙන් ඉල්ලා සිටින්නේ, සාමකාමීව බලය පැවරීමට එකඟ වන ලෙසයි.

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රචණ්ඩකාරිව ඇතුල් වූ ඡායාරූප පහතින්

Exit mobile version