ගතවූ පැය 24 තුළ රිය අනතුරු 121ක් – බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත්

උත්සව සමයේ ගතවූ පැය 24 තුළ රිය අනතුරු 121ක් වාර්තා වී තිබෙන අතර එම අනතුරුවලින් 14ක් ජිවිතක්ෂයට පත්වී තිබෙන බවත් 74 ක් තුවාල ලබා තිබෙන බවත් පොලිසිය පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ ජිවිතක්ෂයට පත්වූ 14දෙනාගෙන් 10දෙනෙකුම ඊයේ (14)දිනයේ සිදුවූ අනතුරුවලින් මියගිය අය බවයි.

අනිත් සිව්දෙනා රිය අනතුරුවලින් තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව තිබේ

අනතුරුවලින් 12ක් සිදුව ඇත්තේ අධිවේගී මාර්ගවලදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම අනතුරු ප්‍රමාණය පොලිසියට වාර්තා වී ඇති අනතුරු පමණක් වන අතර මෙය මිට වඩා වැඩිවිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ගත වූ පැය 24 ක් තුළ සිදු කළ විශේෂ මෙහෙයුමකදී බීමත් රියදුරන් 758 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, දිවයින පුරා සිදු කළ මෙහෙයුමකදී එම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද දිනයේත් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

Exit mobile version