වාහන ආනයන වැඩපිළිවෙල සැකසීම සඳහා කමිටුවක්

ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිලිබඳව වැඩපිලිවෙල සැකසීම සඳහා ඊයේ දිනයේදී කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මග පෙන්වන්නෙකු බවට පත්ව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ බොහෝ මූල්‍යමය කාරණා පිලිබඳව සාකච්ඡා කොට එකඟතාවයන්ට පැමිණිම සිදුකරන බවයි. ඒ අනුව වාහන ආනයනය යනු රටේ විදේශ සංචිතවලට සෘපුවම බලපාන කරුණක් බැවින් වාහන ආනයන සීමාවන් ලිහිල් කරන මාර්ග සිතියම , රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

එම මාර්ග සිතියමට අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගන්නා වාහනවල සිට නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අනුපිලිවෙලකට ආනයන සීමා ලිහිල් කිරීම සිදු කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියා.

එම නිශ්චිත වැඩපිලිවෙල සැකසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙළඳ හා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව , මහ බැංකුව , වාහන ආනයන කිරීමේදී නව හා පාවිච්චි කරන ලද මෝටර් රථ ගෙන්වන කණ්ඩායමේ දෙකේ නියෝජිතයින් , වාහන එකලස් කරන්නන්ගේ සංගමයේ නියෝජිතයින් , කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය ආදී වාහන ආනයනය කිරීමේදී බලපෑම් ඇති වන සියළු කණ්ඩායම් ඇතුළත් වන පරිදි එම කමිටුවක් පත් කළ බවද අමාත්‍යාවරයා එහිදී සඳහන් කළා.

එසේම මෙම වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී පොදු මහජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතායන් සඳහා යොදාගන්නා වාහන , භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා වාහන , මහජනතාව විකල්ප ලෙස යොදාගන්නා යතුරු පැදි හා මෝටර් රථ හා එයිනුත් පසුව සුඛෝපභෝගී රථ වාහන සීමා ලිහිල් කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටි අතර , විද්‍යුත් වාහන ආනයනය කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් වැඩිදුරටත් පැවසීය.

Exit mobile version