චානුක රත්වත්තේට එරෙහි නඩුව කැඳවන්න දින නියම වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි මස 25 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද(25) නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී  චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ ලේඛන තවමත් සම්පූර්ණයෙන් තමන් වෙත ලැබි නොමැති බවයි.

ඒ අනුව අදාළ ලේඛන විත්තිය වෙත කඩිනමින් ලබා දෙන්නැයි රජයේ නීතිඥවරයාට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත මැයි මස 25 වනදා  කැඳවීමට නියම කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව එනට්‍රස්ට් නැමැති මුල්‍ය සමාගමක් පවත්වාගෙන යාම තුළින් වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

Exit mobile version