සිදුවු පිපිරීම්වල වගකීම රජය භාරගත යුතු බව මහින්ද කියයි

රටේ ස්ථාන කිහිපයක ඊයේ (21) සිදුවු පිපිරීම්වල වගකීම රජය භාරගත යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

සිදුවීම පිළිබඳව රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බවත්, මේ පිළිබඳ පූර්ව තොරතුරු ලැබී තිබියදී ජනතා දැනුවත් කිරීමක් සිදු කළේනම් මෙතරම් ජීවිත පිරිසක් අහිමි නොවීමට ඉඩ තිබූ බවත් විපක්ෂනායකවරයා පවසයි.

එනිසා ප්‍රහාරයේ වගකීම රජය විසින් භාරගත යුතු බව ඔහු ප්‍රකාශ කර සිටියි.

රටක් ලෙස මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විපක්ෂයේ සහයෝගය ලබාදෙන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

අවුරුදු 30ක් පුරා පැවති යුද්ධයක් අවසන් කර වසර 10ක් ගත වීමට ප්‍රථම මෙවන් සිදුවීමක් රට තුළ ඇති වීම ඉතාම කණගාටුදායක කරුණක් බවත් විපක්ෂනායකවරයා පවසයි.

දිවයින තුළ දී මියගිය විදේශිකයන් වෙනුවෙන් ද තම දැඩි ශෝකය ප්‍රකාශ කරන බව විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

දිවයිනේ ස්ථාන 8ක ඊයේ (21) සිදුවු පිපිරිම්වලින් තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් හා මියගිය අයට පිං පමුණුවමින් අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදි සර්ව ආගමික වතාවත් ද සිදු කෙරුණි.

ආගමිත වතාවත්වලින් පසු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයේදි මාධ්‍ය හමුවකට එක් වුණි.

Exit mobile version