අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10කට අධිචෝදනා ගොනු කරන්න නීතිපති අවසර ඉල්ලයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝසෆ් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමට නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එම නඩුවේ ස්වභාවය, සංකීර්ණභාවය, බැරෑරුම්කම හා එකී වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අවසර ඉල්ලා ඇතැයි ද නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිරාෂා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළාය.

2015 පෙබරවාරි 27 වැනිදා සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන දසදහස් පනස් අටක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ඊට අනුබල දීමෙන් පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය කිරීමේ අධිචෝදනා යටතේ සියලුම විත්තිකරුවන්ට එරෙහිව නඩු ගොනු කිරීමට නියමිතයි.

එමෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහ හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි යන අයට විරුද්ධව භාණ්ඩාගාර බැඳුම්කර රුපියල් බිලියන 10,058 ක් සම්බන්ධයෙන් බැහැර කිරීමට අදාළව පොදු දේපළ පනතේ සාපරාධී විශ්වාසය කඩ කිරීමෙන් රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් කිරිමේ චෝදනා එල්ල වී තිබේ.

මෙම සියලුම සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා 23 ක් යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා අවසර ඉල්ලා තිබේ.

මෙම විත්තිකරුවන් වන්නේ ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන් ජෝසෆ් ඇලෝසියස්, කසුන් ඕෂද පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, ඩී මිත්‍ර ගුණවර්ධන, සී රංජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවාටයි.

Exit mobile version