තමන්ට එල්ල වු චෝදනා ගැන කියන්න හලීම් අවස්ථාවක් ඉල්ලයි

තමන්ට එරෙහිව එල්ලකර ඇති චෝදනාවලට පිළිතුරු දීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කරුණු දැක්වීමට තමන්ටද අවස්ථාව ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය දිනක දී පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ එක්වෙමින් අසාද් සාලි මහතා විසින් තමා ගැන මෙන්ම තමාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන සහෝදරයා වන ෆායිම් මහතා පිළිබඳව පදනම් විරහිත ප්‍රකාශයක් සිදු කර ඇතැයි ද හලීම් මහතා මෙහිදී කියා සිටියේය.

එනිසා තමාට හා තම සහෝදයාට මේ ගැන තේරීම් කාරක සභාව හමුවේ කරුණු දැක්වීමට අවස්ථාවක් දෙන ලෙස ද එහිදී හලීම් මහතා ඉල්ලීමක් කර සිටියේය.

තව්හිද් යන නාමයෙන් කිසිදු පල්ලියක් ඉදි කර නොමැති බව ද පැවසු හලීම් මහතා, පාර්ලිමේන්තුවේ සම්මත වු පනත් අනුව කටයුතු කරන බැවින් තමාට එල්ල කල චෝදනා පදනම් විරහිත බවත්, පල්ලි ලියාපදිංචිය සම්බන්ධයෙන් අසාද් සාලි මහතා, නොදැන මෙම චෝදනා ඉදිරිපත් කර නොමැති බවත් ඔහු හොඳින් දැන ගෙන මෙය සිදු කර ඇති බව ද සඳහන් කළේය.

විශේෂයෙන් පල්ලියක් ලියාපදිංචි කරන සභාවක් ඇති බවත්, එයට ඇති නිර්දේශ මත එම කාර්ය සිදු කරන බවත් පැවසු හලීම් මහතා කරුණා කර මේ ගැන කරුණු දැක්වීමට තේරීම් කාරක සභාවෙන් අවස්ථාවක් ලබා දෙන ලෙස නැවත වතාවක් ඉල්ලා සිටියේය.

Exit mobile version