ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය අගෝස්තු මස 15 වන දා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය සුසාන භූමිය අසලදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එදින සවස 4 ට පමණ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත අසලදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයින් දෙදෙනෙකුට මන්නා පිහිවලින් පහර දී කපා කොටා බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී දෙදෙනාම මිය ගොස් සිටියේය.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ(02) සවස 5.30ට පමණ පෑලියගොඩ 4 කණුව, ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24 ක් වු පර්ගියුෂන්පාර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි දිල්ෂාන් මධුවන්ත යන අයෙකි.

Exit mobile version