Home දේශීය පුවත් සෞඛ්‍ය උපදෙස් මත උසස් පෙළ විභාගය අද පැවැත්වෙයි

සෞඛ්‍ය උපදෙස් මත උසස් පෙළ විභාගය අද පැවැත්වෙයි

0
සෞඛ්‍ය උපදෙස් මත උසස් පෙළ විභාගය අද පැවැත්වෙයි

අද(12) දිනයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වීමට නියමිතයි.

 

ඒ අනුව අද දිනයේ සිට නොවැම්බර් මස 06 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී විභාගය පැවැත්වෙන අතර මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824ක් සුදුසුකම් ලබා තිබේ.

රටපුරා ව්‍යාප්ත වි තිබෙන කොරෝනා අවදානම හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් 12ක් අතිරේක විභාග මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

ඒ අනුව බුළුගහගොඩ ශ්‍රී විජය මහා විද්‍යාලය, මිරිස්වත්ත කැප්පෙටිපොල මහ විද්‍යාලය, කිරිඳිවැල මහ විද්‍යාලය, වැලිවේරිය මද්දුම බණ්ඩාර විද්‍යාලය, දොම්පේ සියනෑ ජාතික පාසල, නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය යන පාසල් මෙලෙස විශේෂ විභාග මධ්‍යස්ථාන ලෙස නම් කර තිබේ.

කල්එළිය සිරි විද්‍යා කීර්ති කණිෂ්ට විද්‍යාලය, කොටුගොඩ රාහුල විද්‍යාලය, දිවුලපිටිය දූනගහ රණසිංහ මහ විද්‍යාලය, මූකලන්ගමුව බණ්ඩාරනායක මහ විද්‍යාලය, දෙහියාගාත හෝලී රොසරි විද්‍යාලය සහ කිරිල්ලවල මධ්‍ය මහා විද්යා‍ලය මෙලෙස නම් කර ඇති බව වාර්තා වෙයි.

විභාග මධ්‍යස්ථාන තුළ විෂබීජහරණ කටයුතු, මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම, පුද්ගල දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කිරීම අනිවාර්යය බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සිසුන් ප්‍රවාහනයේ දී විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමටත් සෞඛ්‍ය බලධාරීන්, ප්‍රවාහන බලධාරින් සමග සම්බන්ධ වෙමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ අතර විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 0112 784 208 සහ 0112 784 537  යන දුරකථන අංක ඔස්සේ දැනුම්දිය හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සියලුම අයදුම්කරුවන් වෙත ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇති අතර ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයදුම්කරුවෙකු සිටී නම් සිය ජාතික හැදුනුම්පත් අංකය භාවිත කර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් සිය අයදුම්පත භාගත කර ගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍ර ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version