මහනුවර සිද්ධියෙන් විපතට වූවන් 136කට වන්දි ප්‍රදානය කෙරේ

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දා ඇති වූ සිද්ධියෙන් විපතට වූවන්ට වන්දි ප්‍රදානය කිරීම අද (19) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙහි මුල් අදියර ලෙස පූජාපිටිය, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, ගගවට කෝරලේ සහ අකුරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහක විපතට පත් වූවන් 136 දෙනකු සදහා වන්දි ප්‍රදානය කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.එම් හිස්බුල්ලා මහතා අද දින මූලික ගෙවීමක් ලෙස මෙම වන්දි ප්‍රදානය කරන බවත් ඉතිරි පුද්ගලයන් සදහා වන්දි ගෙවීම නුදුරේදීම සිදු කරන බවත් පැවසීය. ඒ සදහා තම අමාත්‍යාංශයේ කාර්යාලයක් සෑම සදුදා දිනකම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වන බවත් පැවසීය.

මීට අමතරව හානි වූ ආගමික ස්ථාන සදහා තම අමාත්‍යාංශය හරහා රුපියල් ලක්ෂ 10 මුදලක් ලබා දිය හැකි බවත් ඊට වැඩිවන මුදල් කැබිනට් අනුමැතියක් ලබා ගෙන මුදා හැරිය හැකි බවත් පවසන ලදී.

Exit mobile version