ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ අවධානය

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා විය.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සභාපතිත්වයෙන් (11) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී පැමිණ සිටි නියෝජිතයින් පෙන්වා දුන්නේ, ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ සෘජු රැකියාවල නියුතුවන්නන් 650000 ක් පමණ හා වක්‍ර රැකියාවල නියුතුවන්නන් ආසන්න වශයෙන් 700000 ක් පමණ සිටින බවයි.

නමුත් වර්තමානය වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක් වී ඇති බවත් මේ නිසා මෙම රැකියාලාභීන් අර්බුදයකට මුහුණපා ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

එසේම දැනට ඉදිකොට ඇති මහල් නිවාස සහ කාර්යාල වැනි ඉදිකිරීම් අළෙවි කර ගැනීමට අපහසු තත්ත්වයක් ඇති වී තිබෙන බවද මෙම පාර්ශ්ව පැවසූහ.

තවද මේ වන විට ඉදිකොට ඇති ඉදිකිරීම්වලින් කොටසක් සඳහා රජය විසින් ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් බැංකු ණය ගෙවාගැනීමට අපහසු වූ විශාල පිරිසක් සිටින බවද පැමිණ සිටි පාර්ශ්ව පෙන්වා දුන්හ.

එසේම ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ පුද්ගලයින් රට හැරයාමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවද මෙහිදී අනාවරණය විය.

Exit mobile version