කැළණි ගං ඉවුරේ සිදුවන ඛාදනය වැළැක්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක්

කැළණි ගං ඉවුරේ සිදුවන ඛාදනය වැළැක්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

කැළණිය පෙතියාගොඩ ප‍්‍රදේශය නිරන්තරයෙන් ගංවතුරට හා පාංශු ඛාදනයට ලක්වන ප‍්‍රදේශයකි. එබැවින් මෙම තත්ත්වය පාලනය කර ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා මෙවැනි ව්‍යාපෘතියක් සැලසුම් කළ බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ගංගාදෝණි 10 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙම වැඩපිළීවෙල කි‍්‍රයාත්මකයි. ව්‍යාපෘතිය සැලසුම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේ නිරීක්‍ෂණයක් පසුගියදා සිදු කෙරිණ. ඒ සඳහා වනජීවී අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද සහභාගී විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අමාත්‍යංශයට සම්බන්ධ ආයතන කිහිපයක මැදිහත්වීම මත මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකයි.

අධික වැසි සහිත කාලයකදී මෙම ප‍්‍රදේශයේ පවුල් සිය ගණනක් පීඩාවට පත්වන අතර, නව ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන් අනතුරුව එම අයහපත් තත්ත්වයන් දුරු වන බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

Exit mobile version