මේ වසරේ මහනුවර ඇසළ පෙරහැර එළඹෙන 16 කූඹල් පෙරහැරෙන් ඇරඹේ

2018 වසරේ මහනුවර ඇසළ පෙරහැර එළඹෙන 16 වැනි දින යෙදෙන කූඔල් පෙරහැරත් සමඟ ආරම්භ කෙරෙන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ඒ අනුව අගෝස්තු 16 වැනි දින ප.ව. 6.16 යෙදෙන සුභ මොහොතින් ශ්‍රී ධන්ත ධාතු මන්දිරිය ඉදිරිපිටින් ආරම්භ කෙරෙන පෙරහැර දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහලට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ පැමිණ ගෙවැදීමට නියමිතය.

අගෝස්තු 16 වැනි දිනෙන් ආරම්භ වන කූඔල් පෙරහැර අගෝස්තු 20 වැනි දින දක්වා පැවැත්වෙන අතර, අගොස්තු 21 වැනි දිනෙන් ආරම්භ වන රන්දෝලි පෙරහැර අගොස්තු 24 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ. අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේ අගෝස්තු 25 වැනි දින රාත්‍රී 7.58 ටය.

දිය කැපුම් පෙරහැර 2018 අගෝතු මස 25 වැනි දින රාත්‍රී 01 පසුවී විනාඩි 03 ට ආරම්භ කෙරෙන අතර, ගැටඹේ තොටේදී දියකැපීමේ මංගලෝත්සවය සිදු කොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටු කිරීමට නියමිතය.

2018 අගෝස්තු 26 වැනි දින පැවැත්වෙන දවල් පෙරහැරෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරහැර සමාප්ති උත්සවය පැවැත්වෙනු ඇත.

Exit mobile version