නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රමයක් තහවුරු කිරීමට වත්මන් රජය කටයුතු කරනවා – ජනපති

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය හරහා මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබඳ ශක්තිමත් පදනමක් ඇති කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ ගලධාරි හෝටලයේ පැවැත්වෙන ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට අද (27) පෙරවරුවේ එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රටේ සියලු මැතිවරණ නිදහස්, සාධාරණ, නිහඬ හා ස්වාධීන මැතිවරණ ලෙස පවත්වා රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම වත්මන් රජයේ අරමුණ බවයි.

අද ශී‍්‍ර ලංකාව ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනමක් තිබෙන රටක් මෙන්ම අධිකරණයේ අපක්ෂපාතිත්වය සහ සාධාරණත්වය ශක්තිමත් කළ රටක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ආසියාතික රටවල නවතම වාර්තා අනුව ශ‍්‍රී ලංකාව අධිකරණයේ අපක්ෂපාතිත්වය පිළිබඳ ඉතා ඉහළ තත්ත්වයකට පැමිණ ඇති බව පෙන්වා දී තිබෙන බව ද සඳහන් කළේය.

Exit mobile version