හින්දු බැතිමතුන් ඇතුළු සමස්ත ජනතාවට ප්‍රීතිමත් සාමකාමී දීපාවලි දිනයක් පතමි – අගමැති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (18)ට යෙදෙන දීපවාලී දිනය නිමිත්තෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරයි. අගමැතිතුමා විසින් නිකුත් කළ සම්පූර්ණ සුභපැතුම් පණිවුඩය,
අයහපත නමැති අන්ධකාරයෙන් මිදී ප්‍රඥාලෝකය දල්වාලීම නිමිතිකොට ගෙන පහන් මාලා දල්වමින් දීපාවලී දිනය සැමරීම හින්දු බැතිමතුන්ගේ හා ජෛන බැතිමතුන්ගේ සිරිතකි. දීපාවලී දිනයෙහි සැබෑ අරුත වන්නේ අසත්‍යය දුරලා සත්‍යය දල්වාලීමයි. ක්‍රෝධය දුරලා සෙනෙහස දල්වාලීමයි. වෛරය දුරලා කරුණාව දල්වාලීමයි. පරාධීනත්වය දුරලා ස්වාධීනත්වය දල්වාලීමයි. නපුර දුරලා යහපත දල්වාලීමයි.
හින්දූ සැදැහැවතුන්ගේ විශ්වාසය අනුව අද දිනය නරකාසුර පරාජයට පත් කළ දිනයයි. වසර 14 ක් පුරා වනවාසීව සිටි රාම මෙන්ම පාණ්ඩව කුමාරවරුන්ද යළි සමාජයට පිවිසීමේ දිනය ලෙස සැලකෙන්නේද අද දිනයයි. මේ සියල්ලෙන් සංකේතවත් කරනුයේ නපුර අවසන්ව යහපතෙහි උදාවයි. අන්ධකාර සමය අවසන්ව ආලෝකයේ උදාවයි.
ජෛනාගමිකයන් සිය අවසන් ශාස්තෘවරයාණන් වූ මහාවීර තෙම, මෝක්‍ෂගතවූ දිනය සේ සලකනුයේද දීපාවලී දිනයම ය. එනයින් බලන කළ මෛත්‍රීය, කරුණාව හා සෙනෙහස පතුරවාලන දිනයක් ලෙසද අද දිනය සැලකිය හැකි ය.
මනුෂ්‍යත්වය රජ වී සාමය, සමාදානය උදා වී මිනිසා සිය පෞද්ගලික අභිමතාර්ථ සපුරා ගැනීම පිණිසම නොව අනන්‍යයන්ගේ යහපත කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය යන්න දීපාවලියේ ඉගැන්වීමයි. භේදබින්න වීමට දහසක් හේතු මතුවෙද්දී වුවද, ස්වකීය සිත් සතන්හි ප්‍රඥාලෝකය දුරු කර නොගෙන එක්සත්ව සාමයෙන්, සමඟියෙන් දිවිගෙවීම අප සැමගේ වගකීමය.
එකී ප්‍රාර්ථනය පෙරදැරිව, හින්දු බැතිමතුන් ඇතුළු සමස්ත ජනතාවට ප්‍රීතිමත් සාමකාමී දීපාවලි දිනයක් පතමි.
Exit mobile version