උතුරේ විපතට පත්වූවන් මුදවා ගැනීමට නාවික හමුදා සහය

උතුරු පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව සහන සැලසීමේ කටයුතු සිදු කරමින් සිටියි.

මේ වන විට තොණ්ඩමන්ආරු, මාන්කුලම්, කොට්ටඅඩි ඇතුළු ප්‍රදේශ රැසක නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව, නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය මඟින් ක්ෂණික අවශ්‍යතාවයකදී භාවිතයට ගතහැකි ලෙස ජංගම මුළුතැන් ‍ගෙවල්, ආහාර පිසීමේ උපකරණ, ආහාර උණුසුම් කිරීමේ උපකරණ, කූඩාරම්, වතුර පොම්ප සහ ජංගම වැසිකිළි මෙන්ම ආදි උපකරණ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මේවන විට ස්ථාපිත කර ඇත.

තවද, ගංවතුර පැවැති ප්‍රදේශයන්හී පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික හමුදා සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටින අතර, එම ප්‍රදේශයන් වෙත වෛද්‍ය කණ්ඩායම් පිටත් කර යැවිමටද නාවික හමුදාව කටයුතු කර ඇත.

එමෙන්ම, රටට පැමිණෙන ඕනෑම ස්වභාවික ව්‍යසනයකදි නාවික හමුදාව පෙරට පැමිණ සහන සැළසීමට නිරන්තරයෙන් කටයුතු කිරීමට සුදානමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේය.

Exit mobile version