71 වැනි ජාතික දින සැමරුමට රජයෙන් නිවේදනයක්

71 වැනි ජාතික දින සැමරුම වෙනුවෙන් අද (01) සිට පෙබරවාරි මස 07 වැනිදා දක්වා පුරා සතියක කාලයක් සෑම රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැඟිලිවල ජාතික කොඩිය එසවීමට කටයුතු කරන්නැයි රජය දැනුම් දී තිබේ.

පෙබරවාරි 03 සහ 04 දිනවල දී එම ගොඩනැඟිලි විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට කටයුතු කරන ලෙස ද රජය වැඩිදුරටත් දන්වා ඇත.

එමෙන්ම පෙබරවාරි 01 වැනිදා සිට 07 වැනි දා දක්වා සතියක කාලයක් පුරා සෑම නිවසක ම, ව්‍යාපාරික ස්ථානයක ජාතික ධජය ඔසවන ලෙස ද මහජනතාවගෙන් ද ඉල්ලීමක් කරයි.

71 වැනි ජාතික දින සැමරුමට සමගාමීව බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි හැර අන් සියලු දිස්ත්‍රික්කයන්හි උත්සවාකාරයෙන් ජාතික දිනය සැමරීමටත් රටේ සියලු ජාතීන් හා ආගම් නියෝජනය වන පරිදි එම උත්සව සංවිධානය කිරීමටත් අවශ්‍ය උපදෙස් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වනවිටත් ලබා ඇතැයි අභන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා නිවේදනය කරයි.

නිදහස් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් මහතා සහ එම මැතිනිය සහභාගී වෙනු ඇත.

මෙවර 71 වන නිදහස් දින සැමරුම 4 වන දා ගාලු මුවදොර පිටියේ දී ජනපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවැත් වෙනු ඇත.

නර්තන හා වාදන ශිල්පීන් 865 දෙනෙකු සහභාගිතවයෙන් සංස්කෘතික පෙළපාලියකින් ද, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය  භට බලකායේ ආචාර පෙලපාලියකින්ද මෙවර නිදහස් දින උළෙල විචිත්‍රවත් වීමට නියමිතය.

Exit mobile version