පැරණි දාගැබක් හාරා නිධන් ගන්න ගිය 4කට වැඩ වරදී

වවුනියාව, නෙඩුන්කේනි රක්ෂිත සීමාවේ කාංචිනකුලම් ප්‍රදේශයේ පැරණි දාගැබක් හාරා නිධන් ගැනීම සිදුකළ පුද්ගලයින් සිව්දෙනෙකු පුලියන්කුලම පොලීසිය විසින් ඊයේ(22) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

බැකෝ යන්ත්‍රයක් මඟින් වෙහෙර හාරා කිරිගරුඬ බුදු පිළිමයක්, මැටියෙන් නිමවන ලද බුදු පිළිමයක සිරස කොටසක්, පැරණි දාගැබක ‍මැටියෙන් නිමවන ලද කොත් කැරැල්ලක්, මැටි පහන් ඇතුළු පෞරාණික උරුමයන් රැසක් ගොඩගත් පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ සැකකරුවන් සතුව තිබී නිධන් හැරීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක්, ගමන් කිරීමට යොදාගත් ත්‍රිරෝද රථයක්, නිධන් බැලීමට යොදාගන්නා අදුනක්, විවිධ වර්ගයේ මන්ත්‍ර සහිත පොත් රැසක්, පුජා උපකරණ තොගයක් ඇතුළු භාණ්ඩ තොගයක්ද අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් වවුනියාව නෙඩුන්කේනි, ත්‍රිකුණාමලය, මඩකලපුව ප්‍රදේශයන්ගේ පදිංචි අවුරුදු 34-38ත් අතර වයසැති පුද්ගලයන් පිරිසක් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පුරාවස්තු හා සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද(23) ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුලියන්කුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Exit mobile version