බැඳුම්කරයේ වාර්තාවක් මැයි 29දාට දෙන්නැයි නියෝගයක්

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා මැයි මස 29 වනදාට වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(30) රහස් පොලීසියට නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇතුළු සැකකරුවන් අටදෙනා අධිකරණයේ පෙනී සිටියේය.

මෙහිදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

අනතුරුව පැමිණිල්ල නැවත මැයි මස 29 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් රහස් පොලිසියට නියම කළේය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ මෙහි සැකකරුවකු ලෙස නම් කර සිටින රන්ජන් හුලුගල්ල නැමැත්තා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර නඩුව ආරම්භ වී මද වේලාවකින් ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරුට අවවාද කර සිටියේ නඩුව කැඳවනු ලබන අවස්ථාවේ නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

Exit mobile version