අගමැතිට මෝදිගෙන් ලිපියක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, පසුගිය දා ශ්‍රී ලංකාවේ නිරත වූ කෙටි නිල සංචාරයේ දී තමන් ප්‍රමුඛ නියෝජිත පිරිස වෙත දැක්වූ සත්කාරකත්වය සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා ඇත.

එම ලිපියේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.

“ගරු අග්‍රාමාත්‍යතුමනි,

2019 ජුනි 09 වැනි දින මා ප්‍රමුඛ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරය අතරතුර අප වෙත දැක්වූ සත්කාරකත්වයට මාගේ ස්තූතිය පිරිනමමි. ගුවන්තොටුපලේ දී අප උණුසුම් අයුරින් පිළිගැනීම පිළිබඳව ද මාගේ ප්‍රණාමය පුද කරමි.

ඉන්දියාවේ සමීප මිතුරෙකු මෙන්ම අසල්වාසියෙකු ද වන ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින්, විශේෂයෙන් මෙවන් අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමට ඉන්දියාව දක්වන උනන්දුව සහ කැපවීම මාගේ එම සංචාරයෙන් ප්‍රකට කෙරිණ. අප හමුවේ තිබෙන මෙම ත්‍රස්තවාදී තර්ජනයට සාර්ථකව මුහුණ දීම සඳහා දෙරට එක්ව ක්‍රියා කළ යුතුව තිබේ.

එම සංචාරයේ දී, අප දෙරටට බලපාන පොදු කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට ද අවස්ථාව ද උදා විය. ඒ තුළින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ශක්තිමත් සබ¼දතා තවදුරටත් වර්ධනය වනු ඇති බව මාගේ විශ්වාසයයි.

ගරු අග්‍රාමාත්‍යතුමනි, මෙම කාරණා සම්බන්ධයෙන් වන මාගේ දැඩි උනන්දුව මෙයින් දන්වා සිටින අතරම ශ්‍රී ලංකාවේ දිගු කාලීන ප්‍රගතිය, සෞභාග්‍යය සහ සාමය උදෙසා හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

නරේන්ද්‍ර මෝදි”

 

Exit mobile version