උතුරු ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලින් ගත් ණය මුදල්හි පොළි තවමත් කපා හැරලා නෑ

උතුරේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබාගත් ණය මුදල්හි පොළිය මුදල් අමාත්‍යංශය විසින් කපා හැරීමට පියවර ගන්නා ලෙසට එම ආයතන වෙතට දැනුම් දී තිබුණද තවමත් අදාළ ආයතන මගින් සාමාන්‍ය ජනතාවගෙන් පොළි මුදල් අයකර ගැනීමට උත්සාහ දැරීම නිසා එම ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

අදාළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන්ගෙන් ණය ලබාගත් පිරිස්වලින් අදාළ ණය මුදල් වෙනුවෙන් අය කෙරෙන අධික පොළි මුදල දරා ගත නොහැකිව මේ වන විට කාන්තාවන් 16 දෙනෙකු සියදිවි හානිකොට ගෙන ඇති අතර ණය මුදල් ලබාගෙන පවුල් අවුල් වී කාන්තාවන් 65 දෙනෙකු දික්කසාද වී ඇති බවට වාර්තා වී ඇත.

මේ අනුව යාපනය දිස්ත්‍රික්කයේ කාන්තාවන් 1596 ක්ද, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කාන්තාවන් 1580ක්ද, මන්නාරම් දිස්ත්‍රික්කයෙන් කාන්තාවන් 458ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ කාන්තාවන් 670 ක් හා වවුනියාව දිස්ත්‍රික්කයේ කාන්තාවන් 1343 ක් විවිධ ක්ෂ්‍රද්‍ර මූල්‍ය ණය ආයතන මගින් ණය ලබා ගෙන ඇත.

මෙම වාතාවරණය අනුව උතුරේ කාන්තා සංවිධාන කිහිපයක් විසින්ම අදාළ  මූල්‍ය ආයතන වෙතට ගොස් විරෝධතාවන් දක්වා ඇත්තේ රජය විසින් අදාළ ණය මුදල්හි පොළි මුදල් කපා හරින ලෙස දැනුම් දී ඇති අවස්ථාවක පොළි මුදල් එකතු කිරීමට නියෝජිතයින් නිවෙස් වෙතට යොමු නොකරන ලෙසටත් අදාළ  ණය මුදල පමණක් ලබා ගැනීමට පියවර ගන්නා ලෙසටත්ය.

කෙසේ වෙතත් අදාළ  මූල්‍ය ආයතන මගින් මේ දක්වා එම වැසියන්ට සහනයක් ලැබී නොතිබීම දැඩි අසාධාරණයක් මෙන්ම පීඩාවක් බවටද උතුරේ කාන්තා සංවිධාන විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Exit mobile version