අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට හේතුව අකිලගේ කැපවීම බව අගමැති කියයි

වර්තමානයේ රට පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන දියුණුවට හේතුව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ කැපවීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපනයෙහි වේගවත් සංවර්ධනයක් ඇති කළ හැකි පුද්ගලයා අකිල විරාජ් කාරියවසම් මහතා බැවින්, තමා අධ්‍යාපන අමාත්‍යධූරය ඔහුට ලබා දුන් බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

21 වැනි සියවසෙහි අභියෝගවලට මුහුණදිය හැකි සිසු දරුවන් බිහි කිරීම සඳහා නවීන තාක්ෂණ දැනුම ලබාදීම පිණිස ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට සිය ස්තුතිය පිරිනැමුවේය.

අධ්‍යාපනයෙහි සංවර්ධනය වෙනුවෙන් අමාත්‍යවරයා සමඟ සිදු කරන කැපවීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට ද අග්‍රාමාත්‍යවරයාගේ පැසසුම හිමි විය.

‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහනේ 11 අදියර ලෙස රට පුරා පාසල් ගොඩනැගිලි 250 ක් විවෘත කිරීම සනිටුහන් කරමින් පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී ඉකුත්දා පැවැති ජාතික උත්සවයේ දී අගමැතිවරයා එම පැසසුම පිරිනැමුවේය.

Exit mobile version