තඹ කර්මාන්තශාලාවේ සේවය කළ අබ්දුල්ලා තවදුරටත් රිමාන්ඩ්

පාස්කු ඉරු දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාබ් නමැත්තාට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්මලේ සේවකයෙකු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත්  අබ්දුල්ලා නැමැත්තා තවදුරටත් ලබන 29 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද(15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැදවනු ලැබීය.

එහිදී ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදාහැර සිටින සැකකරුවන් නව දෙනෙකුගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ඉල්ලා ඇතත් ඒවා මෙතෙක් ලැබී නොමැති බව දැනුම් දුන්නේය.

එමෙන්ම අදාළ සේවකයින් නව දෙනා ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බවට මෙතෙක් සිදුකරන පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී නොමැති බව කී පොලිසිය ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව අධිකරණය දැනුම් දුන්නේය.

ඒ අනුව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන රාජේන්ද්‍රන් කරුපයියා නමැත්තා ලබන 29 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර දැනට ඇප මත මුදාහැර සිටින සෙසු සේවකයින් නව දෙනාට ඔක්තෝම්බර් මස 09 වනදා අධිකරණය හමුවේ යළි පෙනී සිටින ලෙසද නියම කළේය.

Exit mobile version