මරණ දණ්ඩනය අහෝසි කරන්නැයි ඉල්ලා අධිකරණයට තවත් පෙත්සමක්

මරණීය දණ්ඩනය අහෝසි කිරීමට අදාළව ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන යෝජනාවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු නොවන බවට තීන්දු කර ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නුගේගොඩ  ප්‍රදේශයේ පදිංචි මහාචාර්ය සී. ගුණරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියාසිටින්නේ මරණීය දණ්ඩනය අහෝසි කිරීමට අදාළ ප්‍රතිපාදන ඇතුලත් යෝජනාවක් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් ඉකුත් අගෝස්තු මස පළමුවනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ බවයි.

එම යෝජනාවේ අන්තර්ගත කිසිදු වගන්තියකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු නොවන බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Exit mobile version