මහ බැංකුවෙන් බැඳුම්කර වංචාව ගැන වෝහාරික විගණන පරීක්ෂණයක් සිදු කරන බව නිතිපති අධිකරණයට දැනුම් දෙයි

2015 වසරේ පෙබරවාරි මස මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව වෝහාරික විගණන පරීක්ෂණ ක්‍රියාත්මක සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටින බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

2015 පෙබරවාරි මස 27 වනදා සිදුවූ මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී වංචාවක් සිදු වූ බව සඳහන් කරමින් ගොනු කර ඇති පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙම දෑනුම් දීම සිදු කර සිටියි.

මෙහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධිත සමාගමක් වන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බැංකු ගිණුම් පිළිබඳවද පරීක්ෂණ සිදුකරන බවයි.

ඊට අමතරව මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තවත් අංශය ගණනාවකින් රහස් පොලිසිය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණ සිදුකරන බව ද ඇය අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පැමිණිල්ල නැවත මාර්තු මස 03 වනදා කැඳවීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද රහස් පොලීසියට නියෝග කළේය.

Exit mobile version