නව ජනපතිට චීන ජනපති සුබ පැතුම් එක් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ චීන – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව චීන ජනාධිපති ෂී ජින් පින්ග් පවසයි.

දෙරටේම ජනතාවට තවදුරටත් ප්‍රතිලාභ ලැබෙන පරිදි එම සබඳතා පවත්වාගෙන යාමට අපේකෂා කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමේ පුවත ඉතා සතුට දනවන්නක් බව සඳහන් කර ඇති චීන ජනාධිපතිවරයා තමාගේ මෙන්ම තම රටේ ජනතාවගේ හෘදයාංගම සුබපැතුම් නව ජනාධිපතිවරයාට එක්කරන බව ප්‍රකාශ කර තිබේ.

දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාව සහ චීනය අතර සාම්ප්‍රදායික, මිත්‍රශීලී සබඳතාවක් පවත්වාගෙන යන අතර නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා දක්වන අඛණ්ඩ සහයෝගීතාවය අගය කරන බව චීන ජනාධිපති ෂී ජින් පින්ග් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version