බැඳුම්කර වාර්තාවත්, බරපතළ දූෂණ වාර්තා 34ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි කථානායක ජනපතිගෙන් ඉල්ලයි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූයේ යැයි කියන බරපතළ දූෂණ වංචා සිද්ධි ඇතුළු බරපතළ දූෂණ වංචා විමර්ශන වාර්තා 34 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (09) ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව පසුගිය 30 ජනාධිපතිවරයාට බාරදුන් අතර ජනාධිපතිවරයා විසින් පසුගිය 02 දින එම වාර්තාව නීතිපතිවරයාට යොමුකරමින් වහාම කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ වාර්තාව පිළිබඳව විවාද කිරීමට වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත්, නිසි ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කළ යුතු බවත්ය. එම ඉල්ලීම අනුව අද (10) පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට දින නියම කර ඇත.

එහෙත් ඊයේ රැස්වු පක්ෂ නායක රැස්වීමේදී ප්‍රශ්නගත කැර ඇත්තේ පාර්ලිමේන්තුවේ නැති වාර්තාවක් පිළිබඳව විවාද කිරීම සුදුසුද නිවැරැදිද යන්න පිළිබඳවය. මේ අනුව එම වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට කථානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ඊයේ පස්වරුවේම තීරණය කර ඇත.

Exit mobile version